Thursday, January 2, 2014

ගමට ඉරක්.....

ගමේ ලොකු මීටිමක්
ලොකුම ලොකු මීටිමක්
ගමේ සර්වෝදයට
අද බරට වැඩ ගොඩක්

පෝයදා පන්සලට යන්නෙ නැති ගුණවතී
අතුරෙ ගොස් රා මදින කිතුලෙ ගම දාබරේ
පෝයදා හතරටම සිල් ගන්න ජිනවතී
අද ඇවිත් ඉදිරි පෙළ මුල් අසුන් ගෙන සිටී

ගමේ උන් හැම එකා ‍රැස් කමින් හතර අත
නෙතු යොමා හිඳී මඩ ගොහොරු වූ පාර දෙස
පැය දෙකක් ගතවෙලත් ආවෙ නැති පිරිස ගැන
දොස් පරොස් තබයි තව එකෙක් හඬ බාල කො

උදේ එකොළහ වෙද්දි පාර දිග එක පෙළට
මඩ ගොහොර මතින් අඩමානයක් නැති ලෙසට
සුදුපාට ඉන්ටකූලර ඇවිත් එක දිගට
නවත්වා බැස ගනිති මහත්වරු හරි සැපට

ගමේ මැම්බර් එක්ක තවත් ලොකු මහත්තුරු
උන්ට ඉහලින් ඉන්න ඇස් පුංචි මහත්තුරු
ඇවි ඇවිත් දසන් පෙන්වමින් හිඳ සුමිතුරුව
අත වනයි ගමේ පොඩි එවුන හට නිරතුරුව

මුලින් මැම්බරයගේ පිළිගන්න කතාවයි
ඊට පසු ඉංගිරිසි කතා එක පෝළිමයි
කාටවත් නොතේරෙන කතා ඊටත් වැඩියි
ගමේ උන් නොතේරුන නමුත් හිඳ ඉස සලයි

තාරදා සකස් කර දෙනවාළු ගුරු පාර
ලයිට්නුත් එනවාලු ලඟදීම මුලු ගමට
පොල් වත්තෙ වැඩ කරන ගමේ උන් ඔක්කොටම
රස්සාව දෙනවාළු ෆැට්ටේරියේ හොඳට

කොයිතරම් කරුණාව හදවතේ පුරෝගෙන
ඇස් පුංචි මහත්තුරු ගමට යහපත් වෙලා
දෙහෙදුවක් කරන්නේ ගමට එලියක් වෙලා
ලොකු අප්පු කියයි ‍රැස්වීමෙ මැද නැගිටලා

‍රැස්වීම නිමවෙලා දෙපෝයක් ගතවුනා
ෆැට්ටේරියේ සිහින ගමට අමතක උනා
හිරු දිනක උදෑසන ගමම දෙදරා ගියා
යකඩ යන්තර නේක ගම මැදට ලංවුනා

සතක් රා කල එකදු හුස්මට
බීල අවසන් කරපු ගජ සෙන්
පොළොව බිඳ දුහුවිලිද නංවා
ඇදී එන ලෙසරකුස් වෙස් ගෙන
යකඩ යන්තර ඇදෙයි ගම මැද
දුඹුරු දූවිළි වලා නංවා
ඇඳි වතද කරලන්න සිහිනැත
දුවයි පෙළහර බලන්නට යස

රබර් තේ හෝ ටයර් නොව එය
මහා ගල් අඹරනා මෝලකි
උදෑසන හිඳ සැඳෑ වනතුරු
ගමේ ඈයෝ ගල් කුඩුම කති

5 comments:

  1. ඇත්ත තමයි කට්ටියට කරන වැඩෙට වඩා වටින්නෙ එතන නැති අයට බනින එකනේ නේද..? කොහොම උනත් රා මදින අය මෙන්ම ගනිකාවන්ටද සමාජ්යේ දේ වලට දායක වෙන්න යම් අවස්ථාවක් ලැබිය යුතුයි නේද..?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්නත් පුලුවන් ,ස්තුතියි අදහසට

      Delete
  2. ඛේදවාචකයක් නේ ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ගමකට ලොකුම ඛෙදවාචකයක්.ස්තුතියි

      Delete