Saturday, September 29, 2018

ඇයව අයදින මන්ද මාරුත....

මා සොයාවිත් කවුලුවේ ලඟ
පාර බලනා මන්ද මාරුත
අදත් ඇවිදින් කවුලු පත් මත
අයදිනා හඬ ඇසෙයි දෙසවන...

කෙලෙස කිව මැන නුඹත් සමගින්
සොයා යන්නේ ඇය ගියපු මග
දැවී නටබුන් වෙලා ගොස් ඇත
ඇය පැතූ ඇගෙ සිහින ලෝකය...

උයන් කෙලවර නදිය අබිමුව
ගෙවූ ඒ සැන්දෑ දවස් ගැන
නුඹට අමතක නොවන හන්දද
යදිනුයේ මා කුටිය අබිමුව....

Tuesday, April 24, 2018

මනමේ....


යුග ගනන් පුරාවට
හිස් සැඳෑ අහස යට
රැඳුණු මනමේ කතා
තැනින් තැන පෙලින් පෙල...

මවිත වූ කලෙක මෙන්
දෙනෙත් යුග විවර කර
බලති මනමේ පුවත
පෙර නොවූ විරූ ලෙස...

සය මසක් පෙරතුව
එකම පෙල එකම තැන
බැලූ මනමේ පුවත
කුමරුවන් සමග හිඳ...

අමතකව ගිය වගකි
වැදි රජුන් හා සමග
බලයි මනමේ පුවත
නොදත් සේ නුඹ රඟන...