Monday, December 23, 2013

අමරරත්න....

ගමේ කඩ මණ්ඩියේ බස් නැවතුමේ සති පොළේ
නොවරදින පිරිමියෙකි දෙබොක්කාවේ අමරෙ
හයේ හතරේ උසට නො අඩු වෙන හැඩි සිරුර
ලඳු කැළෑ තරමටම රෝම පිරි රළු පපුව
ගොරක ලොඩි තරමටම රතු වෙච්ච ඇස් බෝල
ගරා යකු නගර බට විලස මට පේන....

පනාවක් සතියකින් දැක්කේම නෑ වගේ
උගෙ කොණ්ඩෙ කැලෑවට ගියපු හේනක් වගේ
ඇ‍ඟේ කළු පාට මම දැකලා නෑ ඒ වගේ
අමාවක දාට හඳ නැති ඈත නුඹ වගේ....

ගමේ ගිය මාසෙ පැළ අටවගත් යසවතී
දෙපරක් බය වෙච්චි ඇල ලඟදි ගොම්මනේ
තව දිනක් ඉස්කෝලෙ නෝන වැව් කණ්ඩියේ
හූ තියා දිව ගියා පිම්මෙ මහ දවාලේ....

වැඩි කතාවක් බහක් නැති අමරරත්නගේ
මුට්ට කර ගහන්නයි වැඩි වෙලා ගතවුනේ
හවස මුදලාලිගෙන් ලැබෙන පඩි සොච්චමේ
හාල් පොල් සිල්ලරයි බූන්දියි ගෙනගියේ....

සොයිසගේ තැබෑරුම ලඟින් යන හැම වරෙක
පාරෙ ගැලවිච්ච ගල් ගනන් කරමින් සවස
උසුළු විසුළුද හූද ඉවසමින් අවලාද
පිය නගයිබිම ඔබාගෙන මූන සීරුවට....

දරුමල්ලෙකුද හෝ අඹුවක්ද නැති අමරෙ
එනතුරුව මග බලා හිඳී අර කළු එතනෙ
ම්ං අවා මයි අම්මෙ කියන මුදු හඬ් ඇහිණි
ටොමියාද පිම්මෙ දුව ඇවිත් වලිගය වනති....

ලැබෙන සොච්චමින් ගත් හාල් පොල් සිල්ලරද
කුස්සියෙන් තබාවිත් අම්මාගෙ ලඟ දපල
මුදලාලිගේ කඩෙන් ගත් බුන්දි මුළ ලිහල
රස බලයි කළු එතනෙ සමග කදයක් දමල....

වයසගිය කළු එතනෙ ‍රැකබලා හිඳින්නයි
රත්නෙගේ හිතේ ඇති එකම එක තේරුමයි
ගතින් ගොරහැඬ් නමුත් සිතින් හරි පියකරුයි
ඇගේ ලෝකයේ නුඹ එකම එක අග රජුයි....

5 comments:

  1. වටින අදහසක්...........(Y)

    ReplyDelete
  2. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව කවි සිතුවිලි පහල වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා....

      Delete
  3. ස්තුතියි.ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete