Saturday, February 23, 2013

මංමුලාව....

සැඳෑ අහසක
ඔහේ ඉගිලෙන
මංමුලා වූ කිරිල්ලී
රාග ගින්නෙන් දැවෙන්නට පෙර
කැදැල්ලට යනු ඉගිල්ලී....

නුරා නුඹෙ නෙතු කරයි ඉඟි බිඟි
නුරා ගිනි වැද සැලෙයි වත නුඹේ
අඳුරෙ සඟවුණු නොලද පහසට
අත වනයි නුඹ අදත් පෙර ලෙස....

රුදු සුලං ගිනි අකුණු පුපුරා
හාත්පස අඳුරේ ගිලෙද්දීත්
නුඹට අවසර නොමැති පහසක
සිරි විඳී පුරඟනක් විලසට....

Saturday, February 16, 2013

මිතු දමක නාමයෙන්....

පිය නගමි නුඹ සමග
දුර වුවත් අප දෙදෙන
පෙනෙන සේ මුළු ලොවට
පෙම්වතුන් වු ලෙසක....

දිවි ගෙවමි නුඹ සමග
නුඹෙ වරද සඟවන්න
මිතු දමක නාමයෙන්
බැඳි පෙමක් නැති වුවද....


Saturday, February 9, 2013

කවිය.....


ලියා අවසන් නොවු කවියක
ලියන්නේ අවසානයයි
කඳුළු වැස්සට අකුරු තෙමුනත්
ලියමි අවසන් පද පෙලත්....

ශෝකි වු ඇගෙ සුසුම් රාවය
තනුව විය මා ගෙතූ කවියක
සිතේ තනි වු දුක් සුසුම් ඇගෙ
අරුත විය මා ලියු සැමදෙහි.....

තනුව නැති කර අරුත නැති කර
දුරගියා නුඹ දුකත් අරගෙන
නිසල නුඹෙ වත අසල හිඳගෙන
ඉකි බිඳිමි දුක තුනී වනතුරු....

Tuesday, February 5, 2013

සඳ කුසුම.....

අඳුරට පිපී අඳුරට විකසිතව
හිරුට පෙර මිලිනව
සඳට පමණක් උරුම
සඳ කුසුම,
රත්‍රී මද පවන
කඳු මුදුන් සිසාරා ගෙන යයි
නුඹෙ සුවඳ,

සිත් සේ විඳිනු වස් ඒ සුවඳ
පැමිණියද බඹර කැළ
තෙපලමින් නුඹ මගෙය
හිමිවෙයි නුඹේ මිලින වතම
සඳට පමණක් උරුම
කඩුපුල් මල් කැකුල.....

Friday, February 1, 2013

මා නැති ලොව නුඹ තනිවේද.......

නිසල ගං දිය රහස් කොඳුරන
අමාවක රෑ අදත් ඇවිදින්
කාන්සිය සිත අතුලෙ තදකොට
නුඹ සමග එමි අදත් පෙර මෙන්.....

ගැඹුර නොදකින නිසල ගං දිය
දෙපා මුල හිඳ බලයි මා දෙස
නුඹේ වාරුව උරුම ඌ මට
ගැඹුර ගැන සිත කුමට තැවෙනුද.....

එගොඩ මෙගොඩට සතුට දුක ගෙන
පැද ගියෙමි දිවි සැඳෑ වනතුරු
මගේ දිවියට රාත්‍රි කල
එන්නේ කවුරුද නුඹේ තනියට....

Thursday, September 27, 2012

සිරකරු.....

අඳුර අතහැර යන්න එලියට
ධවල මරණය අත වනයි මට
ඒත් කොහොමද යන්නේ එලියට
කරපු පාපය ඉවර නෑ තව....

සිරුර වෙලමින් දැවුනු ගිනිදැල්
දෙපා දොවමින් ගැලූ රතු ලේ
දිවා අඳුරක සැඟව ගත් කල
යන්නෙ කොහොමද අඳුර අතහැර....

අන්ධ යුක්තිය සිර ගෙදර දොර
මග බලයි හිස නමා එනතුරු
ලෙයින් යකඩින් ලොව තැනෙන තුරු
විඳිමි පාපය එලිය එනතුරු....

Friday, September 7, 2012

යමපුරක් නොවූ සුරපුරය....

තෙමාලනු පිණිස ගිනි කතරකට වැහි පොදක්
සඳ වසා පැමිනෙන්න ලොවට දී ගනඳුරක්
නොමිනිසුන් වසන මේ සුරපුරට තව වරක්
පායන්න නම් එපා උදා හිරු කිසි ලෙසත්....

කාසිවල පහසකට අත වනන ආදරය
ඇත වීදි කෙලවරක ඇස ගැ‍ටුනු සැම තැනක
මත් කමෙන් රාගයෙන් උමතු වු යෞව්වනය
පන යදී තව තැනක විලි බියද නැති ලෙසක...

සුරපුරක් නොව්නමුත් වන වැදුනු බැද්දෙගම
සිසිලසකි දිවි කතර අමා පැන් ගෙන තෙමන
මාලිගාවක සැපත නැති නමුත් අතු පැලක
නුඹෙ සුවඳ ඇත තවම කුඩා කල මට දැනුනු....