Monday, March 31, 2014

රොබරෝසියා

ගිනි වැදී දැවෙන සත් කුළු පව්ව
දැක හිනහෙන රොබරෝසියා
සුවඳ නොම දී දෙනෙත් ඇදගෙන
විකසිතව හිනහෙන
වසන්තය ඇවිත් දිගුවැලි
ගං තෙරට...
රෝස දම් පෙති වසන මං සොයා
ගත නොහී වල් මත් වූ කලෙක
රොනට යන බඹර කැළ සේ
බමන හිස් ඇතිව
පොතෙන් සිත දුරක ගෙන
දිව යයි සිප් බිම පුරාම....
රත් පැහැ ගිනියම් අහස් කුස
අකම්පිත ඇයි මියෙන
තණපත් දැක ඔහොම
රොබරෝසියා පෙති සැලෙන
දුකටද
නොම සළනුයේ   නුඹේ
සිසිල් කඳුලු බිඳු ගොන්න....

Saturday, March 22, 2014

තනිව ඈ

ඇය නිදන සොහොන මත
රඟයි ඉටි පහන් සිළු
මෙරු ඇදෙයි සොවින්
ඇය නිදන රළු යහන වෙත
තවම මල් වඩම මත
රෝස මල් සිනහ ඇත
ගුරු පාර මත තවම
වැ‍ටුණු පොරි රටා ඇත
නුඹ සමග මෙහි පැමිණි
යහළු නෑ පිරිස කොහි
ඇතැම් උන් සිහි විකල් වී
පොළොව සිඹිනු ඇත
නුඹේ තනියට නුඹේ ලඟම
වැද හිඳින්නට
ඉටි පහන වෙත ඇදෙන
 මෙරුන් පමණද ඇත්තෙ
අහස ගුගුරා කඳුළු හෙලන්නට
ගත් කලෙක
දමා යයි පහන් සිළු දැන් නුඹේ
වට රඟන
අඳුරු වී ඇති කලෙක
නුඹ නිදන අඳුරු ගැබ
සොයා පැමිනේද
සෝ බරින් පිරි මෙරුන් කැළ....