Saturday, August 17, 2013

වසන්තයේ අග හඬමි තනිවම....

ලොවට හොරා මුළු ලොවින් වසන් වී
තනිකම පමනක් තනියට සිටිනා
පාළු කොදෙව්වක ක්ෂිතිජය කෙලවර
සුසුම් ලමින් කඳුලැලි වගුරන්නට
අවැසිය මා හට නුඹ නැති මේ ‍රැයෙ....
අඟිලි තුඩක සුව සියොලඟ නැලවූ
උණුසුම් සුසුමින් මා ලය දැල්වූ
වසන්තයේ මා තුරුලෙහි හිඳගෙන
හුරතල් පෙම් බස් දොඩමළු වූ නුඹ
වසන්තයේ අග මටවත් නොකියම
වසන්තයෙන් සමු අරගෙන ගොස් ඇත....

Sunday, August 11, 2013

සයුර....

නුදුර එන අඳුර දැක
බිය නොවන් සොඳුර නුඹ
සිනිඳු මුදු රළ සමග
සොයා එමි නුඹ සොඳුර....
ඉමක් නැති නිමක් නැති
සයුර මහ ගැඹුරු වුණු
රළු කොමළ රළ මතින්
දිවි ගමන ගෙවිය යුතු....
විටක මිතුරෙකු ලෙසද
විටක සතුරෙකු වුවද
සයුරු තෙර නුඹම විය
ගැසෙන පණනල හදක....
සියළු දෙවි රකීවා
නුඹ සමග දරුවන්ද
විරිය ගෙන දෑතටම
පදිමි ඔරු කඳ ගොඩට....

Wednesday, August 7, 2013

රහස.....

ඇසෙන නොඇසෙන තරමටම ලංවී
නුඹේ කන්පෙති මත
මුමුනමින් ශුන්ගාරයේ වදන්
සුසුම් කම්මුල් පිරිමදින
සතිඅන්තයේ දවස උදාවේ හෙටත්
හුරු පුරුදු මැයි ගස් සෙවන යට.....

Monday, August 5, 2013

සඳෑ සිතුවම් .....

මලානික හිරු
රිදී වත්සුණු
සේල අඳිනා සැඳෑවක් වුණු
ඉල් මහේ අග පාළු ගං තෙර
සඳෑ සිතුවම් විඳිමි තනිවම....

Sunday, August 4, 2013

සිරි සිරි පොද.....

සියක් ගව් පසු කරන්
එකපෙලට එක දිගට
අලුත් අතු සෙවිලි කල
මගේ පැල් කොටය මත
ඇද වැටී දින ගනන්
රාත්‍රී පුරාවට
තව තවත් සිරිබිරිය
නැවතුමක්  නැද්ද හෙට......

ඇලේ වක්කලම ලඟ
දෝරෙ යන වතුර කඩ
සොරෙකුගේ නියාවෙන්
බසී මගෙ කුඹුර වෙත
උදළු කෙටියත් අරන්
සටනකට සැරසෙන්න
සක්මනේ පිය නගමි
පහල ඇල කන්ඩියේ.....

Sunday, July 14, 2013

පමා වු ඉදිරිය.....

පිබිදෙන්න පෙර ලොවම
හාත්පස ගන අඳුර
සීතලට වෙව්ලමින්
සුදු සේද සළු මැදින්
කුසට අහරක් නැතිව
බරට අඩි තබ තබා
දිව ගියෙමි අලුයමේ
පමා වු ඉදිරියට....

Friday, June 7, 2013

නිදි නැති නෙත්....

නිදි වරන නිල් දෙනෙත
‍රැඳි පොතේ පි‍ටු අතර
දහසකුත් එකක් ඇත
නුඹෙ කඳුලු සඟවාගෙන
අරුත සුන් වදන් වල
අරුත වටලා ගන්න
නිදි වරයි අද ‍රැයත්
පහන් වන තුරාවට....