Wednesday, November 6, 2013

අනවසර පාරාදීසය.....

ගැහෙන හදවත් ආලයෙන් සැදි රාගයෙන්
ගැඹුරු හුස්මට නුඹෙ සුසුමකට ලං වෙමින්
මොහොතකටවත් ක්ශිතිජයට දුර ගොස් ඉතින්
ආලයේ රස විඳිනු කෙලෙසද ලං වෙමින්....
මහවැලිය මත දෙපා රඳවා
උහුලන්න බැරි වියවුලෙන්
බලා හිඳිනෙමි නුඹෙ සුසුම් ලඟ
අනවසර තුරු වැල් දුරින්....
නුඹට සුපුරුදු අනන්තය වන් මේ ලොවේ
පවුරු බැඳ ඇත ආලයට සැම මායිමේ
නුඹම ලද මුත් වසන්තය මේ පෙම් බිමේ
කිරුළු නොපලන් කුමරු මම නුඹෙ යෞව්වනේ....

Monday, November 4, 2013

කරදිය කුසුම......

මේ දිගු ගමනේ උඩරට මැනිකේ
රුහුණට යනවද අද කලියෙන්
ඇගේ සිනා මුව යලි දැකගන්නට
සිව් මසකට පසු නිවාඩුවෙන්....
මුහුදු සුලං පොල් රුප්පා පසුකර
හමා ඇදී යන සයුරු කොදෙව්වක
අගේ පැලේ හිඳ අද මා එනතුරු
ඇඟිලි ගනිනු ඇත ඉදිකඩ මත හිඳ....
මිහිරි සිනා ‍රැඳි මුදු කම්මුල් මත
විලවුන් තවරයි කරදිය මද නල
විල්ලුද නො එලූ ඇය යන මාවත
මුදු වැලි කැට ඇත දෙපා තබන්නට....

Saturday, November 2, 2013

තො‍ටුපලට අමතක ඇය....

තො‍ටුපොලට අමතකද නුඹෙන් සමුගත් ඔරුව
නුඹ සමග උදෙ හවහ දොඩමළුව ආ ගියපු
උලලේනි හඬනා අමාවක පෝය දා
නුඹෙන් වෙන්වුනා ඇය අයෙ එමි යයි කියා....
නුඹේ වෙත ඇදෙන නුඹෙන් වෙන් වෙලා යන
ඔරු පාරු බොහොමයක් ඇත නීල ගං දියඹ
නුඹට ඇය මතක නැත අරුමයක් නොවනු ඇත
වෙන් වුනේ ඇය සමග මගේ ඉඳුනිල් මැනික....

Monday, October 28, 2013

නන්නාඳුනන්නී....

කවුළුවෙන් එබී මනමාල කම් පාන
සඳළු තලයට වඩින පුරා පෝ සඳ මඩල
අදත් මගෙ සිත අරන් පොතෙන් බෝ දුරක ගෙන
සැඟවුනා යලිත් නුඹ නුඹේ රජ මැදුර තුළ....
පැල්පතේ සිට මැදුර දහස් ගව් දුර ඇතත්
නුඹ මගේ සිත ලඟම නවාතැන් ගෙන ඉතින්
පුරපෝය පසුව එන අමාවක සිහිකරන්
සිතෙන් පෙම් බඳිමි සිත ඇතුලේම තද කරන්....

Saturday, October 26, 2013

උයන් සක්මන්....

නුඹත් ඇවිදින් අදත් උයනට
පිය මනින්නට දෑත පටලා
ඔහුත් සමගින්
උයන් සක්මන්
නුඹට මා අමතකද මන්දා....
හුදෙකලා අසුනකට බරවී
රිදී හිරු ඉරගල වටෙද්දී
උයන් කෙලවර ගං තෙරට වී
පද බඳිමි පන් හිඳට කැපවී....
සිනිඳු ගෝමර සදිසි මුදු ලැම
ගැල් සකක් වැනි පුලුල් බඳ ඇගෙ
ලෙසින් රසවත් කරන කවියක
නුඹයි හසඟන එදා වෙන්වුණ....

Sunday, October 13, 2013

අවපස සඳ මේ තරමට සුන්දර ඇයි ඉල් මහටම ......

අවපස සඳ මේ තරමට
සුන්දර ඇයි ඉල් මහටම
කලු අහසේ නුඹත් එක්ක
සිකුරු තරුව ඇවිදීන් වත්ද...
මුදු වෙරලේ සුදු වැලි මත
අඩි සටහන් තබා යන්න
කලාමැදිරි අවපස සඳ
අවරගිරින් මෝදු වන්න...
නුඹට මාද මටද නුඹද
පේන තරම් ලන්වීගෙන
ලොවට නොපෙනි
ලොවට හොරෙන්
නිසොල්මනේ ඇවිද යන්න....
දෙසතියකින් සඳත් එක්ක
නුඹ එනකන් හැන්දෑවට
හිඳිමි යලිත් පාළු වෙරලෙ
දින සති වී ගත වනතුරු....

Friday, October 4, 2013

රැඟුම....

මද පවන් වැද සැලෙන
පහන් සිල කළුවරක
සේ සැලෙන වත කමල
රඟ මඩල මත දිලෙන
දෙනෙත ඉවතට නොගෙන
නුඹේ රූ සයන මැද
සතපවන දහසකුත් එකක් නෙත්
රාත්‍රියට....
විදුලි සැර වැදුණු කල
මෙන් බමන සිත සසල
මදුවිතින් සනසමින්
නෙතු යොමමි දුරක හිඳ.....