Sunday, August 4, 2013

සිරි සිරි පොද.....

සියක් ගව් පසු කරන්
එකපෙලට එක දිගට
අලුත් අතු සෙවිලි කල
මගේ පැල් කොටය මත
ඇද වැටී දින ගනන්
රාත්‍රී පුරාවට
තව තවත් සිරිබිරිය
නැවතුමක්  නැද්ද හෙට......

ඇලේ වක්කලම ලඟ
දෝරෙ යන වතුර කඩ
සොරෙකුගේ නියාවෙන්
බසී මගෙ කුඹුර වෙත
උදළු කෙටියත් අරන්
සටනකට සැරසෙන්න
සක්මනේ පිය නගමි
පහල ඇල කන්ඩියේ.....

Sunday, July 14, 2013

පමා වු ඉදිරිය.....

පිබිදෙන්න පෙර ලොවම
හාත්පස ගන අඳුර
සීතලට වෙව්ලමින්
සුදු සේද සළු මැදින්
කුසට අහරක් නැතිව
බරට අඩි තබ තබා
දිව ගියෙමි අලුයමේ
පමා වු ඉදිරියට....

Friday, June 7, 2013

නිදි නැති නෙත්....

නිදි වරන නිල් දෙනෙත
‍රැඳි පොතේ පි‍ටු අතර
දහසකුත් එකක් ඇත
නුඹෙ කඳුලු සඟවාගෙන
අරුත සුන් වදන් වල
අරුත වටලා ගන්න
නිදි වරයි අද ‍රැයත්
පහන් වන තුරාවට....

Sunday, May 19, 2013

නියං කලුවර....


දුර ඈත අහස් කුස
පුරා ආඩම්බරෙන්
හිරුමඩල වසාගෙන
මගේ ඇස් රවටමින්
නුඹ ඉතින් හිනහෙයන්
මගෙ කඳුලු බලාගෙන
නියං කලුවරේ ඇයි
මෙතරම්ම නුඹ නපුරු....
මාසේ අන්තිම වෙන්න
ණය තුරුස් ගන්න එන
එව්න්ගේ වාගෙමයි
නුඹෙ මූන ගොම්මනට
එකවරක් හඬාපන්
නුඹෙ කඳුලු වගුරවන්
සත්මසක් නියං කල
එක දිනට සනසපන්....

Friday, May 10, 2013

වීදියේ කෙලවරක....


මව් තුරුල අහිමි වී
ඕපපාතිකයෙකු ලෙසින්
ඇයිද මා මේ ලොවේ
ඉපදුනේ මේ ලෙසින්...

මහමගට උරුම වු
ජීවිතය හැමදාම
ගැටගසා ගතිමි මා
අනුන් දුන් බත් පතින්...

දුකට නුඹ ගාවින්ම
හඬන්නට අවැසි මුත්
හඬන්නේ තනිවමයි
පාලු බස් නැවතුමේ....

ජීවිතය ගෙවෙන්නේ
මෙලෙස නම් හැමදාම
පතමි මේ ජීවිතය
මෙතැනින්ම නවතින්න...

Sunday, May 5, 2013

ඉදින් නුඹ ඉවසපන්.....



ඉදින් නුඹ ඉවසපන්
තව තවත් නුඹ ඉවසපන්
හතර රියනත් නුඹෙන් උදුරා
සිදාදියකට ආවඩන තුරු
ඉවසපන් ඉවසපන්....

හෙන වැදී ගිය දෙනෙත් පි‍ටුපස
කෙලිති රංගන අමන සි‍ටු කැළ
නුඹත් ඔය හැටි තපස් කල මැන
නුඹට නුඹවත් අහිමි වන තුරු......

Saturday, May 4, 2013

බලා හිඳිනු මිස කුමක් කරන්නද....


අඳුරට කලියෙන් හිරිපොද වැ‍ටුනට
එන්නේ කොහොමද නුඹ කලියෙන්
ගල් මෝලේ වැඩ අහවර නෑ තව
ගෙදරට එන්නට වේල පහින්.....

ගල් බෝරේ හෙණ පුපුරණ සද්දෙට
හදවත පුපුරයි නුඹ ගැන හිත හිත
ලෙඩ ඇඳ උඩ හිඳ ඔහේ බලාගෙන
දෙවියන් යදිනෙමි නුඹ ‍රැක දෙනු ලෙස.....