Saturday, September 11, 2021

 සුදු නෙළුම





සුසුම් ලයි සඳ ක්ශිතිජ ඉම හිඳ

රුවැති ගෝමර වැසුනු ලය දැක

නෙලා හුන් සුදු නෙලුම් තනියට

පාවුනා දෝ වැව් දියේ...

වහන් කර සැඟවූ කුසුම නුඹ

වුනේ විකසිත කිමද දිය මත

නොදත් සේ විශ බඹර බිඟු තුඩ

උරා ගත්තද නුඹේ රොන් බිඳ...

සීත දෑඟිලි පහස විඳ විඳ

ඉවුරු දෙතොලින් සියොලඟම සිප

කිපුනු වැව් දිය සමග රති කෙල

කොහිද යන්නේ උඩුකුරුව හිඳ...

Sunday, April 12, 2020

අමතකව ගිය පොලොව.

එසවී නුබ සොයා
විහිදුවා අතු පතර
සොයා හිරු රැස් කිරන
යන කලෙක අතරමග
ලත් කලෙක මිනිස් ඇස
ඇද වැටී සිටින කල
සිහිවීද මොහොතකට
අමතකව ගිය පොලොව.

Saturday, September 29, 2018

ඇයව අයදින මන්ද මාරුත....

මා සොයාවිත් කවුලුවේ ලඟ
පාර බලනා මන්ද මාරුත
අදත් ඇවිදින් කවුලු පත් මත
අයදිනා හඬ ඇසෙයි දෙසවන...

කෙලෙස කිව මැන නුඹත් සමගින්
සොයා යන්නේ ඇය ගියපු මග
දැවී නටබුන් වෙලා ගොස් ඇත
ඇය පැතූ ඇගෙ සිහින ලෝකය...

උයන් කෙලවර නදිය අබිමුව
ගෙවූ ඒ සැන්දෑ දවස් ගැන
නුඹට අමතක නොවන හන්දද
යදිනුයේ මා කුටිය අබිමුව....

Tuesday, April 24, 2018

මනමේ....


යුග ගනන් පුරාවට
හිස් සැඳෑ අහස යට
රැඳුණු මනමේ කතා
තැනින් තැන පෙලින් පෙල...

මවිත වූ කලෙක මෙන්
දෙනෙත් යුග විවර කර
බලති මනමේ පුවත
පෙර නොවූ විරූ ලෙස...

සය මසක් පෙරතුව
එකම පෙල එකම තැන
බැලූ මනමේ පුවත
කුමරුවන් සමග හිඳ...

අමතකව ගිය වගකි
වැදි රජුන් හා සමග
බලයි මනමේ පුවත
නොදත් සේ නුඹ රඟන...

Sunday, December 17, 2017

ආයු වෑළඳීම......

අසූ විය ආයු වලඳා
වීදියේ කෙලවරක
ඈන තියාන
දෙනෙත් දල්වයි
දොරට එපිටින්
මෑවෙන නිල් රතු
රටා අතරට......

දෑවෙන ගොවි සිත.....

පුළුුල් නිල් අහස යට
කිරි වෑදුනු නිල් ගොයම
වියලි ගිනි සුලන් වෑද
නෑලවුනද එක පෙලට
රත් පෑහෑති තෙලි තුඩින්
පින්තාරු කල අහස
දුර ඈත දකින විට
දවයි පපුතුර නිතර.......

Thursday, January 26, 2017

හිම තුහින

හිම තුහින වැසි වැටී තනපත් අග
හිරු දකින තුරා
විකසිත කරයි ගිරි හිස
සඳ එලිය යට......

Thursday, January 12, 2017

නිදහස












අනන්තය පුරා
පියපත් සලා
හිරු නිදන තුරා
අහසෙ සැරි සරා ....
ඉහල යන නුඹ
නොදත් දේ නම්
මියෙන්නේ රළු
පොලොව මත බව...


Tuesday, February 24, 2015

අහිමිවූ සඳ....

අඳුරු ලා සඳ
එලිය විඳගෙන
සිටින තුරු මත
රඟයි මද නල...

දෙනෙත් විදහා
අහස් කුස දෙස
සිටින කඩුපුල්
මලට සඳ නැත...

Monday, December 29, 2014

පුදමි නුඹෙ පා සයනෙ අමාවක තරු පොකුරු....

කඩුල්ලේ අද්දරට බිම් අඳුර ගලනකොට
දර දුමට රතු වෙච්ච දෙනෙත නිදි කරවන්න
හාංකවිසියක්වත් මතක නෑ අම්මාට
ගුරු පාර ලඟ ගෙදර මම දකින තුරු දුරට

මුරුගසන් වැසි අකුණු පුපුරාන හැලෙද්දී
සීතලට ඇඟ ලෝම බියයි මට කියද්දී
කාත් කවුරුවත් නැත සිතට මගෙ දැනෙද්දී
නුඹේ උණුසුම සොයා එමි අඳුර ගලද්දී

අමාවක දාට නැත සඳ රටා රිදී සුනු
දම් පාට අහසෙ ඇත රන් පාට තරු පොකුරු
අත දිගට නැති නමුත් රන් රිදී මුතු පබළු
පුදමි නුඹෙ පා සයනෙ  අමාවක තරු පොකුරු.....

Saturday, December 20, 2014

සප්ත කන්‍යාවියේ....

කඳු මුදුනෙ හිඳ
හිනැහෙයන් නුඹ
සප්ත කන්‍යාවියේ//

සිහින් ඉඟ සුඟ
පුළුල් බඳ ලැම
දෙතොල් නලියන
රාග වූ වත
වසාපන් ගෙන දුහුල් සළු තිර
දෙනෙත පමනක් පෙනෙන්නට මට.....

සමවැදී සිත භාවනාවක
නෙතු ගැ‍ටුනු තැන ඈත හිමගිර
සසල නොකරන් නිසල වු සිත
වශි  කරගෙන නුඹේ ‍රැඟුමට....

අහිංසක නෙතු පියන් අතරින්
ඇද හැලෙන නිල් කඳුලු ධාරා
ඔහේ දිවයයි දෙපා දෝවා
කොඳුරමින් දුක් සුසුම් ගීතය....

Sunday, July 6, 2014

කළු වලා තිර....

කළු වලාවක් සඳ වසාගෙන
විලේ දිය මත සඳ එළිය නැත
පුරා පෝයට පිරුණු වත කිම
වහන් වුයේ කළු වලාවට....

දෙව්ලොවේ සුර සැපත අතහැර
නිල් ගුවනෙ තරු රටා අතහැර
ආලයෙන් වෙළුනේ ඇයිද නුඹ
ගිණි දැවුණු අර කඳු මුදුන දැක....

සුදෝ සුදුවට කන්ද මත හිඳ
‍රැසි කැළුම් දී නිසල දිය මත
සසල නෙත් සිත් නිසල කරලන
සොඳුරු සිත්තම නුඹම අන් කිම...

නෙතු යොමමි දුර අනන්තයෙ හිඳ
කළු වලා සළු පටින් විනිවිද
නීල නෙතගින් සැලෙන පිනිකැට
නිවා සනසනු දැවුණු ගිරි හිස....

Sunday, June 8, 2014

ස්ට්‍රයික් ස්ට්‍රයික්.....

ස්ට්‍රයික් ස්ට්‍රයික් ආයෙමත් ස්ට්‍රයික්
ජීවිතය පසුබසියි තවත් වසරක් දුරට
දැන්වීම් සෑම තැන වසා ඇත සරසවිය
ඇඳුම් මලු පොදි  බැඳන් සවස යමි ගම් රටට

මාළු පිණි කිහිපයක් සමග එක බත් කටක්
රහ බැලූ කාලයක් මතක නෑ මෙහෙදි මං
මිරිස් වැඩියෙන් හොඳට ලුණු දමා ඇති පමණ
ඇඹුල් තියලට මාළු හිඟයි කලු නික පමණ

අතු බැඳල ගෙයි වහලෙ අදට අවුරුදු තුනයි
වැහි දාට ගේ ඇතුලෙ එකම මඩ ගොහොරුවයි
කාට හොඳ නැති වුනත් ස්ට්‍රයික් මට හොඳයි
ගේ වහලෙ අතු බැඳල ආයෙමත් ආ හැකියි....

Thursday, May 1, 2014

මකුළු දැල් වියන්...

වලව්වේ වහල
පිරෙන තෙක් ගණට
මකුළුවෝ වියති දැල්
හීන් සීරුවට....
සියක් වස් පැරණි
පරිණාමයේ පුරුක්
මකුළු දැල් වියන් තුල
සදා කල් හිඳිත්....
ඇඳි පු‍ටුවෙ දිග ඇදී
රවුම් ඉස්තෝපුවේ
පයිප්පය උරයි
ලොකු හාමු අඩ නිදිමතේ
වරින් වර අවදි වී
කහියි බොල් බොල් හඬ්න්
හනික ගෙන බෙහෙත් මුළ
පෙති දෙකක් ගිල ගනී...
පපුවෙ හති ගතිය නම්
එන්න එන්නම වැඩී
හාමු නම් නෑ තාම
පයිප්පය අතහලේ
ගමේ දොස්තර ඇවිත්
හැමදාම බැන වදී
හාමු නම් නෑ තාම
පයිප්පය අතහලේ....
මහන්තත්වය හිස මුදුනේම තියගෙන
පරන ඔසරිය ගෙදර දොර දූලි පුරෝගෙන
ලිපේ මුල්ලට වෙලා දවසේම බලාගෙන
මැණිකෙ ඉන්නවා දෑසෙ කඳුලු කැට පුරෝගෙන....

Monday, March 31, 2014

රොබරෝසියා

ගිනි වැදී දැවෙන සත් කුළු පව්ව
දැක හිනහෙන රොබරෝසියා
සුවඳ නොම දී දෙනෙත් ඇදගෙන
විකසිතව හිනහෙන
වසන්තය ඇවිත් දිගුවැලි
ගං තෙරට...
රෝස දම් පෙති වසන මං සොයා
ගත නොහී වල් මත් වූ කලෙක
රොනට යන බඹර කැළ සේ
බමන හිස් ඇතිව
පොතෙන් සිත දුරක ගෙන
දිව යයි සිප් බිම පුරාම....
රත් පැහැ ගිනියම් අහස් කුස
අකම්පිත ඇයි මියෙන
තණපත් දැක ඔහොම
රොබරෝසියා පෙති සැලෙන
දුකටද
නොම සළනුයේ   නුඹේ
සිසිල් කඳුලු බිඳු ගොන්න....

Saturday, March 22, 2014

තනිව ඈ

ඇය නිදන සොහොන මත
රඟයි ඉටි පහන් සිළු
මෙරු ඇදෙයි සොවින්
ඇය නිදන රළු යහන වෙත
තවම මල් වඩම මත
රෝස මල් සිනහ ඇත
ගුරු පාර මත තවම
වැ‍ටුණු පොරි රටා ඇත
නුඹ සමග මෙහි පැමිණි
යහළු නෑ පිරිස කොහි
ඇතැම් උන් සිහි විකල් වී
පොළොව සිඹිනු ඇත
නුඹේ තනියට නුඹේ ලඟම
වැද හිඳින්නට
ඉටි පහන වෙත ඇදෙන
 මෙරුන් පමණද ඇත්තෙ
අහස ගුගුරා කඳුළු හෙලන්නට
ගත් කලෙක
දමා යයි පහන් සිළු දැන් නුඹේ
වට රඟන
අඳුරු වී ඇති කලෙක
නුඹ නිදන අඳුරු ගැබ
සොයා පැමිනේද
සෝ බරින් පිරි මෙරුන් කැළ....

Thursday, February 20, 2014

පුදුම රතු රෝස ....

වැටකෙයියා ගාලේ
රතු රෝස මල් පිපිළ
එකම ඉත්තක එකට
එකම න‍ටු අග්ගිස්සෙ....
සුලං වැද තදට
නොසැලෙන නමුත් උන්
බියට පමණක් සැලෙයි
පුදුම රතු රෝස මල්....
දහදියද කරදියද
වෙන්කර නොගෙන
නොදත් සේ රස
විඳිති රති සුව
හිරුත් සමගින් පැමින
සයුරු ඉම විකසිතව
සඳුත් සමගින් මිලින
වෙයි පුදුම රතු රෝස....

Friday, January 31, 2014

කවියෙක්.... සැමියෙක්.....

වරක් දැක
ඇය රූ වරුණ
කැටයම් කරයි කවියක
නිදි වරා මුළු ‍රැයම
පුරුදු විරිතට....
නා දළු දෙතොල්
පුළුල් බඳ
නීල නෙත්
‍රැ‍ඳෙයි මුල් පේලි මත....
වරක් ඇය හා යහන් ගත වූ
කලෙක මෙන් තැනෙන
පද මැදට....
හිරු අවදි වන තුරුත්
තෙමයි හාදු නැති දෙතොල්
නීරස මධු විතින්
නිදයි පොඩිවූ කඩදාසි මත
සුව යහන මත ඇය
සුසුම් ලන කල....

Wednesday, January 29, 2014

දහදිය සහ වෙණ වැයුම

කිළිටි කුණු පුරවගත් කමිස
දහදිය සමග මුසුව
සදයි හඩු දුඟඳ
කියයි දිවියක අරුම....
ඉස්ටේසමේ පඩිය මත
එකම බිත්ති මුල්ලක
එකම වෙණ වැයුම
එකම තනුවට
වයන්නේ භෛරවිය
දොලොස් වස පුරාවට....
නුඹ මෙන්ම දිරා ගිය
මහළු වූ වීණාව
වයද්දී නගයි
නුඹේ ජීවිත ප‍ටුන
දුක්බරද එතරම්ම එය නුඹට
වයන භෛරවිය තරමටම....
කියාපන් දහදිය දුඟඳ
නුඹ වසන්නේ ඔය තරමටම
හදවතේ කොනක
ආලයේ පුසුඹද.....

Monday, January 27, 2014

නිධන් ......

සියක් පඩි නැගුණ තැන
ඇත මහා සෙල් පවුර
ඉන් පියවරක් දුර
බිම හිඳී අඩ සඳ පහන.....

මේ ගම් තුලානට
පරසිදුම දෙවොල
හාස්කම් ඇත බෝම
කියත් යන උන් නිතර....

කලින් කළ
දිග හැරෙන
පැරණි පුස්කොළ තීරු
තතු බෙදයි
හඹා යන ලෙසින්
රන් මිණි වදුළු....

තබා මල් බුලත් ත‍ටු
කපා දෙහි අහු පොකුරු
පුදා දී බිලි පඬුරු
යදියි බහිරව යකුන...

නැත නිධන් මතු වුනේ
සිතූ සේ ගල් පැලී
හිස් අතින් එන මගදි
දෙවොල හට බැන වදී....