Friday, January 31, 2014

කවියෙක්.... සැමියෙක්.....

වරක් දැක
ඇය රූ වරුණ
කැටයම් කරයි කවියක
නිදි වරා මුළු ‍රැයම
පුරුදු විරිතට....
නා දළු දෙතොල්
පුළුල් බඳ
නීල නෙත්
‍රැ‍ඳෙයි මුල් පේලි මත....
වරක් ඇය හා යහන් ගත වූ
කලෙක මෙන් තැනෙන
පද මැදට....
හිරු අවදි වන තුරුත්
තෙමයි හාදු නැති දෙතොල්
නීරස මධු විතින්
නිදයි පොඩිවූ කඩදාසි මත
සුව යහන මත ඇය
සුසුම් ලන කල....

Wednesday, January 29, 2014

දහදිය සහ වෙණ වැයුම

කිළිටි කුණු පුරවගත් කමිස
දහදිය සමග මුසුව
සදයි හඩු දුඟඳ
කියයි දිවියක අරුම....
ඉස්ටේසමේ පඩිය මත
එකම බිත්ති මුල්ලක
එකම වෙණ වැයුම
එකම තනුවට
වයන්නේ භෛරවිය
දොලොස් වස පුරාවට....
නුඹ මෙන්ම දිරා ගිය
මහළු වූ වීණාව
වයද්දී නගයි
නුඹේ ජීවිත ප‍ටුන
දුක්බරද එතරම්ම එය නුඹට
වයන භෛරවිය තරමටම....
කියාපන් දහදිය දුඟඳ
නුඹ වසන්නේ ඔය තරමටම
හදවතේ කොනක
ආලයේ පුසුඹද.....

Monday, January 27, 2014

නිධන් ......

සියක් පඩි නැගුණ තැන
ඇත මහා සෙල් පවුර
ඉන් පියවරක් දුර
බිම හිඳී අඩ සඳ පහන.....

මේ ගම් තුලානට
පරසිදුම දෙවොල
හාස්කම් ඇත බෝම
කියත් යන උන් නිතර....

කලින් කළ
දිග හැරෙන
පැරණි පුස්කොළ තීරු
තතු බෙදයි
හඹා යන ලෙසින්
රන් මිණි වදුළු....

තබා මල් බුලත් ත‍ටු
කපා දෙහි අහු පොකුරු
පුදා දී බිලි පඬුරු
යදියි බහිරව යකුන...

නැත නිධන් මතු වුනේ
සිතූ සේ ගල් පැලී
හිස් අතින් එන මගදි
දෙවොල හට බැන වදී....

Tuesday, January 14, 2014

සොයා යමි වන සරණ

සොයා යමි වන සරණ
පිළිසරණ නොලද කළ
වැද හිඳිමි වනේ වග
වලස් මෘග රළ අතර....
අසරණව ගිය කලෙක
නුඹේ දෙපතුල් ලඟට
නොලැබීමි පතා ගිය
නුඹේ කරුණා සුවඳ....
පෙම් කලේ මිරිඟුවක
වැඩුනු පරසතු මලට
හිමිඋනේ මරු සිටින
දිය නොමැති වැලි කතර....
සොයා ගිය නමුත් නුඹ
වසන දුර සරු පොළොව
හිමිවුනේ වන සරණ
වග වලස් කැළ වසන....

Sunday, January 12, 2014

රෝස පෙති මල්වරව....

පළාවන් පවුරු අහස උසටම
සිරවී හිඳිත් ලපටි රෝස පෙති
බඹරු දැක නැත මෙතරම් රෝස පැහැ
නොහඳුනයි පිනි බින්ඳු නුඹේ මුදු පහස....
කොරොස් ක‍ටු පිරී නැත
ලපටි න‍ටු අග්ගිස්සෙ
පෙති තැලී පොඩිවෙලා
නැත බඹරු රොන් උරා.....
පවුර අසලටම වී තනිව
රොන් පිරී සුවඳ දෙන
මුහුකුරා වූ කුසුම්
ගැන සිතා ලත නොවන්
බඹර පහසම ලබන
නේක මල් පොකුරු දැක
මංමුළා නොම වෙයන්
රතු රෝස පැහැය දැක....
හෙට උදෑසන නැගෙන
පළමු හිරු ‍රැස් පැමිණ
අඬගසා හිඳී
පිබිදෙන්න පෙති විකසිතව
පළාවන් පවුරු බිඳ
විහිදුවා මුදු සුවඳ
මුකුරා මල්වරව
නොපිපියන් ලොවට නුඹ....

Monday, January 6, 2014

මධූ....

හැමෝට කළියෙන් පන්තියට
හිමිදිරියේම නැගිට
දුව එයි මධූ
පොත් මිටිය තුරුළු කරගෙන
මල් පහන් සුවඳ දුම්
බුදු පුදට තබා
දනි පනියෙ අමදියි ගෙබිම
මගදි නෙලා ගෙනවිත් සිනා මල් පොකුරු
දමා මල් බඳුනට

කිරි සුදට පිරිසිදු ගවුම
අඳියි නිතිම
පන්තියේ මුලම හිඳ
පාඩමට මයි සිත
පහේ පන්තියේ විභාගෙන්
නුඹ සමත් ඉහලින්ම
ගියා නුඹ ටව්මෙ ඇති
ලොකුම ඉස්කෝලෙකට

අවුරුදු ගනන් එක දිගට ගත වුනා
මධූගේ මතකයත් අතීතයකට ගියා
ආවේම නැති හන්දා ගම් පැත්තෙ ඉන්පස්සෙ
හිතුවෙ කවුරුත්ම නුඹ රට ගිහින් ඇති කියල

ගිය සතියෙ ටවුමෙ මුඩුක්කුව පැත්තෙ
යාළුවෙක් හම්බෙන්න ගිය මම සති අන්තෙ
හිටිවනම ගල් ගැහුන නියාවක් මට දැනුනි
දරු ගැබක් එක්ක නුඹ ඉදිරියට එනු පෙනුනි

තවම ඒ වගේමයි සුන්දරම මුහුන ඇගෙ
කොන්ඩෙ නම් ටිකක් තඹ පාට බව නෙත ගැ‍ටුනි
දරු ගැබක් දරා තව පැටියෙකුද අත ‍රැඳුනි
මධූ යන හඬට ඇය තිගැස්සුනු ලෙස පෙනුණි

සිත පිරෙන්නම තිබුනා හීන හුඟක් පොදි බැඳගෙන
තිබුනෙ එකම එක පැතුමයි යන්නට ඉහළට ඉහළට
විසිතුන් වසකට උඹ ඔය උහුලන මහ බරම වත්ද
පොඩි කර දැම්මේ උඹගේ හුඟක් වටින හීන ගොන්න

මොහොතකට ඇවිදින් මගේ ලඟ නැවතිලා
මගේ ඇස් දෙක බලා සිනසෙන්නට වුනා
කාලෙකින් සිනාවක් නැති වෙච්ච නිසාදෝ
සිනාවද නුඹ දමා දුර ඈත ගිහින්ලු

වැඩි කතාවක් නැතුව ඇහුව ආගිය වගක්
ළමා ලපටින්ගෙ සැමියාගෙ ගැන කතාවක්
අසන්නට පෙරම නුඹ ගියා සමුගෙන මගෙන්
කියා අපි ආයෙමත් මුන ගැහෙමු මේ ලෙසින


Thursday, January 2, 2014

ගමට ඉරක්.....

ගමේ ලොකු මීටිමක්
ලොකුම ලොකු මීටිමක්
ගමේ සර්වෝදයට
අද බරට වැඩ ගොඩක්

පෝයදා පන්සලට යන්නෙ නැති ගුණවතී
අතුරෙ ගොස් රා මදින කිතුලෙ ගම දාබරේ
පෝයදා හතරටම සිල් ගන්න ජිනවතී
අද ඇවිත් ඉදිරි පෙළ මුල් අසුන් ගෙන සිටී

ගමේ උන් හැම එකා ‍රැස් කමින් හතර අත
නෙතු යොමා හිඳී මඩ ගොහොරු වූ පාර දෙස
පැය දෙකක් ගතවෙලත් ආවෙ නැති පිරිස ගැන
දොස් පරොස් තබයි තව එකෙක් හඬ බාල කො

උදේ එකොළහ වෙද්දි පාර දිග එක පෙළට
මඩ ගොහොර මතින් අඩමානයක් නැති ලෙසට
සුදුපාට ඉන්ටකූලර ඇවිත් එක දිගට
නවත්වා බැස ගනිති මහත්වරු හරි සැපට

ගමේ මැම්බර් එක්ක තවත් ලොකු මහත්තුරු
උන්ට ඉහලින් ඉන්න ඇස් පුංචි මහත්තුරු
ඇවි ඇවිත් දසන් පෙන්වමින් හිඳ සුමිතුරුව
අත වනයි ගමේ පොඩි එවුන හට නිරතුරුව

මුලින් මැම්බරයගේ පිළිගන්න කතාවයි
ඊට පසු ඉංගිරිසි කතා එක පෝළිමයි
කාටවත් නොතේරෙන කතා ඊටත් වැඩියි
ගමේ උන් නොතේරුන නමුත් හිඳ ඉස සලයි

තාරදා සකස් කර දෙනවාළු ගුරු පාර
ලයිට්නුත් එනවාලු ලඟදීම මුලු ගමට
පොල් වත්තෙ වැඩ කරන ගමේ උන් ඔක්කොටම
රස්සාව දෙනවාළු ෆැට්ටේරියේ හොඳට

කොයිතරම් කරුණාව හදවතේ පුරෝගෙන
ඇස් පුංචි මහත්තුරු ගමට යහපත් වෙලා
දෙහෙදුවක් කරන්නේ ගමට එලියක් වෙලා
ලොකු අප්පු කියයි ‍රැස්වීමෙ මැද නැගිටලා

‍රැස්වීම නිමවෙලා දෙපෝයක් ගතවුනා
ෆැට්ටේරියේ සිහින ගමට අමතක උනා
හිරු දිනක උදෑසන ගමම දෙදරා ගියා
යකඩ යන්තර නේක ගම මැදට ලංවුනා

සතක් රා කල එකදු හුස්මට
බීල අවසන් කරපු ගජ සෙන්
පොළොව බිඳ දුහුවිලිද නංවා
ඇදී එන ලෙසරකුස් වෙස් ගෙන
යකඩ යන්තර ඇදෙයි ගම මැද
දුඹුරු දූවිළි වලා නංවා
ඇඳි වතද කරලන්න සිහිනැත
දුවයි පෙළහර බලන්නට යස

රබර් තේ හෝ ටයර් නොව එය
මහා ගල් අඹරනා මෝලකි
උදෑසන හිඳ සැඳෑ වනතුරු
ගමේ ඈයෝ ගල් කුඩුම කති